Saturday 8th of November 2025

English Tamil
Advertiesment


චරිත රත්වත්තේ නම් රාජ්‍ය සේවයේ ද්‍රෝහීයා


2025-11-05 1280

අල්ලස් කොමිසමේ අත්අංගුවට පත්වූ  හිටපු ලේකම් හා උපදේශක චරිත රත්වත්තේ ට ජේ.ආර්. - ප්‍රේමදාස යුගවල තිබූ කාඩ් එක - අන්වර්ථ නාමය ‘වැඩ කරන්නා’ ය.  ආණ්ඩුකරණයේ විවිධ තනතුරු හෙබවූ, චරිත රත්වත්තේට  ආවේනික පුරුද්දක් ඇත. ඒ රාජ්‍යය විසින් යම් තීන්දුව ක් ගත් විට එය කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ ඉටු කිරීම ය.

197 එජාප මැතිවරණ ව්‍යාපාරයේ නයායාචාර්යවරයෙකු වූ චරිත, තරුණ‍ සේවා සභාවේ සභාපති ධූරයට පත් වී, එජාප පාක්ෂිකයින්ට විශේෂයෙන් සැලකුවේ නැත. නමුත්, ඔහු ලංකාවේ විශිෂ්ඨතම ආයතනයක් නිර්මාණය කළේය. පාක්ෂිකත්වය පැත්තක තබා දක්ෂතාවය ගොඩනැගුවේය. ඡන්දයකින් පසුව රැකියා දීම එම යුගයේ සුලබ සිදුවීමක් වූ නමුත් පත්වීමක් ඉල්ලා ගෙන ආ බියගම හාදයෙකුට ‘බැහැපං බල්ලා එළියට යැයි’ කියා එලවා ගත්තේ ද මේ මිනිහාමය. චරිත රත්වත්තේ පක්ෂයේ සභාපති ධූරය ද දැරූ නමුත්, එජාප පාක්ෂිකයින් බහුතරයකටම ඔහු ද්‍රෝහියෙකි.  ඔහුගේ සෘජු වැඩ කිරීමේ ක්‍රමයට පක්ෂිකයා, සංවිධායකවරු, ඇමතිවරු කැමති වූයේ නැත!   

උදේ 8 ට කාර්යාලයට එන යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චරිත කෙලින්ම යන්නේ කැන්ටිමටය. සුළු සේවකයෙකු සමඟ කතා කරමින් තේ එකක් බී වටපිටාව වටහා ගන්නා ඔහු 8.30 සිට එක දිගට පැය 14 ක් 16 ක් වැඩ කරන්නෙකි. උදේ 9 යේ රැස්වීමේ දී ගන්නා තීරණය දවල් 12 වන විට නැවත මතක් කරන, සවස තේ වේළාවේ දී ත් වැ‍ඩේ කෙරුණා දැයි අහන, පහුවදා උදේ වැඩේ ප්‍රගතිය විමසන ලේකම්වරයෙකු වූයේ නම් ඒ චරිත රත්වත්තේම ය. අවසානයේ චරිත ගේ ඒ පුරුද්දම ඔහුට දැන් හෙණයක් වි ඇත.

ආණ්ඩුකරණයේ ලේකම්, සභාපති, උපදේශක වැනි ඉහළම තනතුරු දරා ඇති චරිත, රාජ්‍ය සේවයේ ඉහළම බහුතරයකට ද්‍රෝහියෙකි!   පැවරෙන වැඩය කරන්නට බැරි රාජ්‍ය සේවයේ බොරුකාරියන්ට, කවදාවත් ඔහු ප්‍රිය වූයේ නැත!  

ජංගම දුරකතන නැති කාලයේ මෙට්‍රපොලිටන් ඒජන්සියෙන් ඔහු වෝකි ටෝකි එකක් යැයි කිව හැකි ගැජට් එකක් මිලදී ගත්තේ කොටුවේ කාර්යාලයේ සිට මහරගම දක්වා යන ගමන අතර තුරු වැඩ සම්බන්ධීකරණය කරන්නටය. වැඩේ අවසන් වන තෙක් පසු විපරම් කිරීම ‘වයර් නැති තාලයට’ (Wireless) කිරීම පටන් ගත්තේ ඒ විදිහටය. අලුත් දේ අලුත් විදිහට කරන්නට චරිත ට උපන් හපන්කමක් තිබුණි. චරිත රත්වත්තේ බොහෝ විට ජීවත් වූයේ අනාගතය දකිමිනි. ලෝකයේ අලුත්ම ප්‍රවනතාවයන් සමඟය. හණමිටිකාරයින්ට ඔහු සදාකාලික ද්‍රෝහියෙකි!  වැඩිම කාලයක් ඉර හඳ තරු දැකීම සුදුසුකමක් ලෙස සලකා කටයුතු කළ අයට ඔහුගේ යුග යුග යාවත්කාලීනවීම දැනුනේම නැත!

89 තරුණ අසහන‍යට සම්බන්ධ වූ අවුරුදු 15 ට අඩු දරුවන් 171 ක් ද ඇතුලු  තරුණ තරුණියන්  11,658 ක්   පුනරුත්ථාපනය කළ යුගයේ ඔහු පුනරුත්ථාපන ලේකම් ය. ප්‍රේමදාස ගේ නිවාස වැඩපිළිවෙලට වැඩි ප්‍රමුඛත්වයක් තරුණ  අසහන කමිටු නිර්දේශයන්ට ලබාදී, ඒවා ක්‍රියාවෙහි යෙදවූ අසහාය ලේකම්වරයෙකු ලෙස චරිතගේ නම ඉතිහාසගත වන්නේය. රැකියා ලබාදීමේ දී උපාධිධාරීන් ස්ථානගත කිරීමේ (Graduate Placement) වැඩසටහන  ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සමඟ සැකසූවේ ද චරිතමය. රනිල් වික්‍රමසිංහයන්ගේ සමීපත‍මයෙකු ද, ඔහුගේ  අමාත්‍යාංශ ලේකම්වරයා ද වූ බැවින් 87 - 89 කරැලිකරුවන්ට චරිත, ද්‍රෝහියෙකුමය. ඔහු අත්අඩංගුවට ගැනීම ගැන කෙටි පණිවුඩය දකින ලාල් කාන්ත අමාත්‍යවරයාගේ මුවෙන් වේදිකාවේ දී එළියට පනින්නේ ඒ වෛරය යි! 

‘දිළිදුකම තුරන් කිරීම සඳහා වූ ජනසවිය’ වැඩසටහනේ ‘වැඩකරන්නා’ වූයේ ද ඔහුම ය. නමුත්, අන්ත දිළින්දන්ට ආමන්ත්‍රණය කළ සමෘද්ධි ව්‍යාපාරය බිහි වූ විට, ජනසවිය කපපු ද්‍රෝහියා ද ඒ චරිතම ය. ශ්‍රී ලංකා රාජ්‍ය ‍(පරිපාලන!) සේවයට ‘අතිරේක ලේකම්’ තනතුර ඇති කළේ ද, ඔහු ය. රාජ්‍ය ‍සේවයට ඔහු ඇති කළ බලපෑම අසමසම ය. ඉතිහාසගතය. කිසිදා ඇඟයීමකට නම් ලක් වූයේ ද නැත. කතා කළේ ද නැත. ඒ රාජ්‍ය සේවයේ ඉහළම පුටුවල සිටි බහුතරයක් ද, අද රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨයින්ට උගන්වන බහුතරයකගේ ද ‘ද්‍රෝහියා’ වරිත නිසාය. අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයට වැඩේ, කවදා?, කොහොම? කරනවාද කියනු වෙනුවට ‘කරන්නේ කවුද?’ කියා විමසන සංස්කෘතිය ව්‍යවහාරයක් බවට පත් කළේ ද, දැන් ඇප පිට සිටින චරිතම ය.  

මට චරිත ‍රත්වත්තේ මුල්වරට හමුවන්නේ 2001 සෘණ ආර්ථිකයක් ඇති රටක එජාපය බලයට පත් වූ යුගයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා  ලෙසය. ආර්ථිකය නැවත ගොඩනගන තෙක් රජයේ රැකියා ලබාදීම නැවැත්වීමේ හිත් පිත් නැති තීරණය ක්‍රියාත්මක කළ චරිත එදා, සමස්ත කැබිනට් මණ්ඩලයේ ද, මන්ත්‍රීවරුන් ගේ ද, පාක්ෂිකයන්ගේ ද වෛරක්කරුවා විය. සෘණ ආර්ථිකයක් වසර දෙකක් තුල -- 2004 වන විට ගොඩ දැම්මේ රාජ්‍ය මුල්‍ය විනය නිසාය. 2003 සෑම පාර්ලිමේන්තු දිනයකම පාහේ මම පාර්ලිමේන්තුවේ රාජකාරියට ගියෙමි. චරිත නැති තැන ඇමතිවරු, ලේකම්වරු ඔහුට ද්‍රෝහියෙකු ලෙස සලකා බැන්නේ කුණුහරුපයෙනි.බංකොලොත් රාජ්‍ය මුල්‍ය ගොඩ දැමූ 2022-2004 ආර්ථික පෙරළියේ තිරය පිටුපස මිනිසා චරිත රත්වත්තේ ය.  

පසුව එජාප සභාපති ධූරයට ද පතු වූ ඔහු ගේ අනුග්‍රහශීලි නොවන ආණ්ඩුකරණය පක්ෂය තුල සංවිධායකයින්ට - මන්ත්‍රීවරුන්ට ද ඔහු ද්‍රෝහියෙකු විය.   බොහෝ දුෂ්කර අවස්ථාවල පක්ෂය පෙර රට ගැන සිතා කටයුතු කළ විරල මිනිසෙකුට ජනප්‍රිය දේශපාලනයේ දී ‘වීරයෙකු’ විය නොහැකිය. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදේශකවරයා වූයේ  චරිත ම ය. ඉටු කර ගත යුතු දෛනික ප්‍රශ්න නැවතුණේ ‘වැඩ කරන්නා’ වූ චරිතගේ මේසයේ ය. 

පොහොර සහනාධාරය ඇතුළු හේතු නිසා ලංකා ඉතිහාසයේ අති දැවැන්ත වී අස්වැන්නක් ලැබූ බැවින්,  මත්තල ගුවන්තොටුපලේ පවා වී ගොඩ ගසන්නට සිදු විය. චරිත කළේ නැගෙනහිර ආසියාවේ ජනප්‍රිය වී ගබඩා කරන ‘කොකුන්’ නම් තාවකාලික තාක්ෂණය (ගබඩා) සොයා එය මෙරටට ගෙන්වීමට පියවර ගැනීමය.  එම තීරණය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ගෙන ඇත්තේ චරිත, සභාපති භයිලා, සංස්ථා සමාන්‍යාධිකාරි, මහ බැංකු අධිපති, රාජ්‍ය බැංකු නිලධාරීන් ගේ රැස්වීමක දී ය. වානිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ ගබඩාවලින් කොටසක් වී අලෙවි මණ්ඩලය මුදල් ගෙවා මිලදී ගෙන ඇත. එයින් කොටසක් වී ගබඩා කර ද ඇත.  ගෝඨාභය පාලනයේ දී යුධ හමුදාව කොළඹ හා තදාසන්නයේ එළවළු අලෙවි කරන්නට ද මේ ගබඩා භාවිත කර ඇත. (එළවළු මිල පහත වැටුණු විට එ්වා නාගරික ප්‍රදේශවල අඩු මිලට අලෙවි කිරීම)

මාගේ අනුමානය නම්, චරිත රත්වත්තේ පරණ පුරුදු විදිහට, වී ගබඩා ප්‍රශ්නය අවසන් වන තුරු පසු විපරම් කරන්නට ද ඇත. සමහර විට පුරුදු විදිහට ‘කවුද කරන්නේ? කවුද කරන්නේ? කෑ ගසන්නට ද ඇත. ඉන්  වසර 10 කට පසුව, 79 වන වියේ පසුවන ඔහු අත්අඩංගුවට පත්වන්නේ ය. ලෝකයක් ගොඩ නැගූ පරිපාලන නිලධාරියා උපදේශකවරයෙකු ලෙස ලබා දුන් නියෝගය නිසා දුෂිතයෙකු, අපරාධකාරයෙකු, ද්‍රෝහියෙකු වී ඇත.

රාජ්‍යය විසින්, රාජ්‍ය සේවකයින්ට ලබාදෙන පණිවුඩය නිවැරදිව කියවා ගැනීම වැදගත්ය! ඔබ විශිෂ්ඨයින් අතර විශිෂ්ඨතමයා වූවාට වැඩක් නැත. මුදල් ලේකම් ලෙස අන්තිම සතයට ගණන් බැලූ චරිත, රට 2002 ආර්ථික අර්බුදයෙන් ගලවාගත් චරිත අද සැකකරුවෙකු ලෙස පොලිස් නිලධාරීන් වටකර උසාවි කුඩුවට නගින්නට සිදු  වන්නේ එදා රටේ තිබූ ලොකුම ප්‍රශ්නයට උත්තර සෙවූ නිසාය!

අද දඹුල්ලේ බීළුණු කු‍ණු වෙමින් යයි. ලංකාවේ දැවැන්තම ශිතාගාරයට බී ළුණු ටික දමා එය රැකගන්නට දේශපාලනඥයින්ට හෝ නිලධාරීයෙකු නැත.  වැලිමඩ අල ගොවියෝ අමු තිත්ත කුණු හරුපයෙන් ශාප කරමින් අර්තාපල් අලෙවි කර ගත නොහැකිව ලතැවෙති. බීට්, ලීක්ස්, ගෝවා, කැරට්, බෝංචි අද විකුණාගත නොහැකි තැනට වැඩී ඇතත් රාජ්‍යය ලේකම්වරු මර නින්දේය.  ඔවුන් කිසිවක් මිලදී නොගන්නා නිසා, දඹුල්ල ශිතාගාරයට, ගබඩාවට දොර අගුළු දමා වසා ඇති නිසා ‘නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමක් ද නැත’.  ගබඩා සොයා දී වැඩ කළා චරිත ද්‍රෝහියෙකි. කිසිවක් නොකරන්නා ‘සුපිළිපන් නිලධාරියෙකි’.   

ලංකා රාජ්‍ය සේවයේ එක් එක් යුග තිබුණි. චරිත රත්වත්තේ වැනි රට ගැන සිතන මිනිසුන් දීප්තියෙන් බැබලුනේ, ප්‍රශ්න විසඳන්නට රාජ්‍ය සේවය ඉදිරියට පැන්න යුගයක ය.  දැන් ප්‍රශ්න විසඳන යුගය නොව, ප්‍රශ්න නොදැක්කා සේ මඟ හරින යුගයයි.  අය වැයෙන් වෙන් කළ ප්‍රාග්ධන අරමුදලින් 75% ක් පමණ ආපසු භාණ්ඩාගාරයට හරවා යවන යුගය යි. ආණ්ඩුකරණයේ දී  බොහෝ දෙනෙකුට ද්‍රෝහියා වූ මේ මිනිසාට, සිය රාජ්‍ය සේවය වෙනුවෙන් ලැබුණු ඉහළම ඇඟයීම අත්අඩංගුවට පත්වීමයි. දැන් ඔහු පරිපූර්ණ රාජ්‍ය නිලධාරියෙකි.

අද රාජ්‍ය සේවකයින්ට ‍ඉගෙන ගන්නට පාඩමක් ඇත. අද ඔබ ගන්නා තීරණය, අත්සන් කරන නියෝගය/උපදේශය වසර 10 කින් පමණ අනාගතයේ දිනෙක, එදා පැවති තත්වය ගැන කිසිදු අදහසක් නැති විමර්ශකයින් අතින් ‘විමසුමට’ ලක්වන්නේය. විශ්‍රාම යාමෙන් පසුව, අවුරුදු 79 ක හැරමිටියෙන් යන වයසක වූව ද ඔබ වැරදිකරුවෙකු කළ හැකිය.  රාජ්‍ය සේවය සිර කුටියට යන මාවතයි. ප්‍රවේශමෙන් ගමන් කරන්න!

 

-රජිත් කීර්ති තෙන්නකෝන්-
Advertiesment